Saturday, April 11, 2020







සොබාදහමට බැදුනු අපේ ගොවිතැන.




ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳව දිගු ඉතිහාසයක්‌ සහිත සංස්‌කෘතියකට ලංකාවාසී ජනතාව හිමිකම් කියයි. සිංහල ගොවිතැනේ යෙදීම නම්බුවක්‌ ලෙසට සැලකීමක්‌ ද ඇත. බෞද්ධ ඉගැන්වීම් අනුව එය ධාර්මික නිෂ්පාදන ක්‍රමයකි. ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව විදේශිකයන් උනන්දු වූයේ වතු වැවිල්ල දියුණු කිරීමට ය. එම නිසා සාම්ප්‍රදායිකව පැවත පැමිණි ගොවිතැන පරිහානියට පත් විය. සමාජ සංවිධාන ක්‍රම බිඳ වැටීමත් සමගම ගොවීහු හුදෙකලා වූ හ. දහ නව වැනි සියවස මුල් භාගයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවා වැව් අමුණු තර කරවා නැවතත් ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට ගත් උනන්දුව නිසා ගොවීහු පිබිදීමෙන් එයට සහභාගි වූ හ. එහෙත් ලංකාවට උපදෙස්‌ සැපයූ කෘෂිකර්ම විශේෂඥයන් මේ පාරම්පරික ගොවිතැන ලඝූ කොට සැලකූ හ. මේ වන විට ලෝකයේ නව කෘෂිකාර්මික විප්ලවයක්‌ ඇති වෙමින් පැවතුණු අතර එය හඳුන්වන ලද්දේ හරිත විප්ලවය යනුවෙනි. ඒ අනුව නව අභිජනන බීජ රසායනික පොහොර ගොවීන් විසින් භාවිතයට ගනු ලැබ තිබිණි. එසේ ම නව කෘෂි උපකරණ බිහි වීමෙන් ගොවිපළ යාන්ත්‍රීකරණය විය. කෘෂිකර්ම බලධාරීන් විසින් ලංකාවට ආදේශ කිරීමට උත්සාහ ගනු ලැබුවේ මේ නව ක්‍රමවේදයයි. 1967 දී ගන්නෝරුවේ දී මුළුගැන්වුණු කෘෂිකර්ම ව්‍යාප්ති සමුළුවේ දී මෙයට අදාළ ප්‍රතිපත්ති තීරණය කර ගන්නා ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසිනි. 

ලංකාවේ ගොවිතැන නවීකරණය උදෙසා මහඉලුප්පල්ලම, බතලගොඩ, ගන්නෝරුව වැනි කෘෂි පර්යේෂණායතන බිහි වීම එකල සැලකුවේ කෘෂිකාර්මික නවෝදයේ යෝධ පිම්මක්‌ වශයෙනි. 1957 දී එච් 4 අභිජනන වී වර්ගය බිහි වීම, හේන් ගොවිතැන සඳහා නව තල ප්‍රභේද ඇති කිරීම විද්‍යාත්මක ගොවිතැන හඳුන්වා දීමක්‌ ලෙසට සැලකිණි. ඩී. එස්‌. සේනානායක අගමැතිවරයා ෆොaඩ් ට්‍රැක්‌ටරය දෙස සැකයෙන් බැලුව ද ඉතා ඉක්‌මනින් එය ගොවිබිම්වලට සමීප විය. 

හැටේ දශකය හා හැත්තෑවේ දශකය තුළ මේ නව කෘෂිකාර්මික නවෝදය ව්‍යාප්ත විය. එයට විද්‍යාත්මක ගොවිතැනේ යෙදීම යෑයි ද කියෑවිණි. එන්. පී. කේ. අඩංගු රසායනික පොහොර නිර්දේශ පරිදි යෙදීම, වල්නාශක හා කෘමිනාශක පළිsබෝධ මර්දනයට යොදා ගැනීම සහ ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම මෙයට අයත් විය. මෙතෙක්‌ රසායන පොහොර නො යෙදූ තල, කුරහන්, බඩඉරිඟු වැනි ප්‍රභේද උදෙසා ද නිර්දේශයන් සකස්‌ කෙරිණි. දිය බඳිමින් නෙළුමේ යෙදෙමින් පාරම්පරිකව වල් මර්දනය කර ගත් ගොවීහු උග්‍ර රසායනික විස වර්ග ගොවිපළට යොදන්නට පෙලඹුණ හ. පන්සල කේන්ද්‍රස්‌ථානය කරගෙන ඇරඹුණු තරුණ ගොවි සමාජ මේ නවීන ගොවිතැන් දැනුම බෙදාහරින සමාජ සංවිධානය විය. බියෙන් බියෙන් වක්‌කඩේ පොහොර පොට්‌ටනිය ගැටගැසූ ගොවියා ප්‍රථමයෙන් මේ දැනුම කෙරෙහි කූලෑටිකමක්‌ දැක්‌වී ය. එහෙත් නොමිලයේ ලබා දුන් කෘෂි රසායන පැකේජය නිසා ඔහු ගේ සමාජ සාරධර්ම දෙදරීමකට ලක්‌ විය. 

එහෙත් පාරම්පරික ක්‍රමවේද යම් තරමකින් හෝ සමාජයේ ශේෂ වී තවමත් භාවිතයේ පවතී. පළිබෝධ මර්දනය සඳහා පාරම්පරිකව යොදාගත් අභිචාර විධි සහ භෞතික ක්‍රියාකාරකම් යම් තරමකින් හෝ විමර්ශනය කිරීම මේ ලිපියේ අරමුණයි. 

ලංකාවේ ජෛවවිවිධත්වය හා දේශගුණික විවිධත්වය පළාතෙන් පළාතට වෙනස්‌ වූ බවක්‌ නිරීක්‌ෂණය කළ හැකි ය. ඒ අනුව පළිබෝධ පාලන ක්‍රමයන්හි ද විවිධත්වයක්‌ පවතී. වෙසෙසින් ම ශාක සාර සහ විවිධ ඖෂධ යොදාගත් අවස්‌ථාවල දී මෙලෙස විය. අභිචාර විධි අනුගමනය කරන කල්හි වුව ද යම්කිසි සමාන බවක්‌ දක්‌නට ලැබුණ ද එහි ඇතුළාන්තය ඊට වෙනස්‌ ය. පළිබෝධයන් පමණක්‌ නො ව ඇතැම් විට යම්කිසි දිලීර හානියක්‌ ඇති වූ අවස්‌ථාවල දී ද වගාව හානියට පත් වීම වළක්‌වා ගැනීමට අභිචාර විධි අනුගමනය කර ඇත. මඩ ගොවිතැන පිළිබඳව සලකා බැලුව හොත් එයට හානිකර පළිබෝධයන් සිටින්නේ අතළොස්‌සකි. ගොයමට හිත මිතුරු සතුන් රාශියෙකි. කෘෂි රසායන යෙදීමෙන් මිතුරු සතුන් ද වැනසෙයි. එම නිසා පළිබෝධයන් පමණක්‌ පලවා හැරීමට කරන ගොවිතැන සම්පූර්ණයෙන් ම විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ බව පෙන්වා දිය යුතු ය. 

පළිබෝධයන් වගාවක සැරිසැරීම සිදු වන්නේ යම් කිසි කාලවකවානුවක දී ය. උන් ගේ ජීවන රටාව තේරුම් ගැනීමෙන් මේ බව අවබෝධයට ගත හැකි ය. ගොයම් මැස්‌සා පියාසර කරන සතෙකි. උන් ගේ බෝ වීම සඳහා කෙරෙන එක්‌ වීම නිරීක්‌ෂණය කළ හොත් මේ සතා පළවා හැරීමට කෙරෙන විධි ක්‍රමය නිගමනය කළ හැකි ය. පැරැන්නන් මණ්‌ඩේ ගැසීSම නම් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කළේ මේ එක්‌ වීමට බාධා කිරීමට ය. විශාල වශයෙන් බෝ වීමට ලක්‌ වන දුඹුරු පැළ කීඩෑවා ගේ ද බෝ වීම මෙලෙස වළක්‌වා ගත හැකි බව දශක කීපයකට ඉහත දී පවා ගොවියෝ සිය ප්‍රඥාව මගින් තේරුම් ගත් හ. ඒ සඳහා ඔවුන් විසින් වේගයෙන් සුළඟට සෙලවෙන පොල් අත්තක්‌ යොදා ගන්නා ලදී. එහි එල්ලන ලද උදලු තැටිල්ල මේ සෙලවීමට ඝණ්‌ඨා හඬ නංවයි. එය සාමාන්‍යයෙන් සතුන් එක්‌ වීම සිදු වන සවස්‌ කාලයේ අටවා තබන ලද්දකි. ගොවියා මේ සරල පරීක්‌ෂණ කළ ද කෘෂි විද්‍යාඥයා කර ඇත්තේ මරණීය පරීක්‌ෂණයකි. ඔහු ගේ ප්‍රතිකාරය උග්‍ර කෘමිනාශකයෙන් අවසන් වෙයි. 

සාමාන්‍යයෙන් ගොයමට වැළඳෙන රෝග ගණනාවක්‌ තිබේ. කමත් හෑල්ල නම් ජන කවි සංග්‍රහයේ මෙය සඳහන් ව ඇත්තේ මෙසේ ය. 

අල කොළ රෝගය ද ලෙඩක්‌-  


කොක්‌කනාව කියා ලෙඩක්‌

උණ පතයා තවත් ලෙඩක්‌-

මේ ලෙස ලෙඩ බලා නොයෙක්‌ 

ගොයමට පණු රෝග වැළඳීමට තිබෙන ඉඩකඩ බොහෝ ය. කොක්‌කනාව හෙවත් කොපු පණුවා ගොයම ළපටි අවධියේ දී හානි කරයි. වර්ෂාව අධික වීම, ලියදි සමතලා නො වී ජලය රඳා තිබීම මේ පණුවන් වර්ධනයට හේතු ලෙස දක්‌වාලිය හැකි ය. මේ පණුවාට මූලික වන්නේ දිගින් මි.මී 6ක්‌ පමණ වන සලබයෙකි. මේ සලබයා බිත්තර පණහක්‌ පමණ තැන්පත් කරන්නෙකි. දින හතරකින් පමණ පිට වන කීටයා දින විස්‌සක්‌ පමණ වර්ධක කාලයක්‌ ගත කරයි. මොවුනට ජලය මගින් සංක්‍රමණය විය හැකි ය. විද්‍යාඥයෝ මේ අහිංසක සලබයා විනාශ කිරීම පිණිස උග්‍ර පළිබෝධනාශක භාවිත කරති. 

කොපු පණුවා, කොළ හකුළන දළඹුවා, පුරුක්‌ පණුවා ආදී පළිබෝධයන් පාලනය කිරීමට පාරම්පරිකව යොදා ගත්තේ අළු සාත්තුවයි. කුඹුරේ වතුර කඩා වියළෙන්නට හැර පසු දින අළු භාජනයක්‌ ගෙන ගොස්‌ උදෑසන පිනි පිට ගොයමට ඉසීම මේ ක්‍රමයයි. අළු සඳහා හළා ගන්නා ලද ලිපේ අළු යොදා ගැනිණි. ඉසින ලද අළු ගොයම් ගසේ මෙන්ම කොපු පණුවන් ගේ ද ශරිරවල ඇලේ. වෙසෙසින් ම උන් ගේ පුරුක්‌ අතරට අළු ගමන් කිරීම නිසා කොළ මත සිටින පණුවන් ශරිරය පාලනය කර ගත නොහැකි ව බිමට හැළෙයි. එසේත් නැතිනම් ගසේ පහත කොටසට වෙති. අළු සාත්තුවෙන් පසු පසු දා උදේ ලියෑදිවලට වතුර බඳින බැවින් මේ පණුවෝ වැඩි ප්‍රමාණයක්‌ ජලයට බිලි වෙති. පුරාණයේ ජලයේ මිරිදිය මසුන් ද බහුලව සිටි අතර පණුවන් ඔවුන්ට ද ගොදුරු වෙයි. අනතුරුව තෙවැනි දිනයේ දී කැප්පෙටියා අතු යහමින් කඩා ගත් ගොවියා කුඹුරු උඩාවතේ සිට පිළිවෙළින් ගොයම පිස දමමින් පහළට එයි. එවිට කැප්පෙටියා බූවට දුබල වන පණුවන් ද උන් ගේ බිත්තර ද ජලයට වැටී මසුන්ට ගොදුරු වෙයි. 

ගොක්‌ මැස්‌සා ගේ හානිය නිසා උණ පතයා හෙවත්a ලුනු ගොබ රෝගය හට ගනී. සාම්ප්‍රදායික වගාවේ දී මේ හානිය බරපතළ නො වන අතර දින හතරක පමණ ජීවන කාලයක්‌ ගත කරන ගොක්‌ මැස්‌සා සහ උගේ කීටයා ගොදුරු කර ගැනීමට ගොයම් අතරේ ජීවත් වන හිත මිතුරු සතුන්ට හැකි ය. අවශ්‍ය වන්නේ උන් ගේ ගහනයට ගැලපෙන ලෙසට වී වගා පරිසරය සකස්‌ කිරීමයි. 

අල කොළ රෝගය හෙවත් කොළ රෝගයට කෙම් කිරීමේ දී කුඹුර හිතකර වටේ ම කැකුණ මල් පත්තු කරනු ලැබේ. කුඹුරට හානිකර ගොඩවෙල්ලන් මර්දනයේ දී කුඩා රිටිවල ගැසූ කෙසෙල් පිති උඩ පොල් තෙල් පහනක්‌ සහ කිරිබත් ස්‌වල්පයක්‌ තැබීම සිදු කෙරෙයි. කිරිබත් කෑමට පිටතින් එන පක්‌ෂීන් ගොඩවෙල්ලන් ද ආහාරයට ගන්නා ආකාරය ගොවීහු නිරීක්‍ෂණය කරති. 

ගොයම පීදී කිරි වදින අවස්‌ථාවේ දී ගොයම් මැස්‌සන් ගේ හානිය ප්‍රබලව දැනේ. මේ සතාට ගොයම් මකුණා යෑයි ද නමකි. කලට ගොවිතැන් කිරීම මෙයට තිබෙන මූලික ම සෞඛ්‍ය ආරක්‌ෂිත ක්‍රමයයි. යම් හෙයකින් මැස්‌සන් ගේ බෝ වීම සිදු වුව හොත් උගේ ජීවන චක්‍රය අවබෝධ කොටගෙන යොදවා ගත හැකි කෙම් පහන් මෙහි දී සඳහන් කළ යුතු ය. මීවදයක්‌ කඩා පිලවුන් සහිත මී වද රැගෙන භාජනයකට දමා පොඩි කර ජලය කලවම් කර එම භාජනය කුඹුරේ රැයක්‌ පේ වෙන්නට තබා පසු දින උදේ ඒවා පෙරා දියර සියල්ල ම ගෙන එයට ජලය ද මුසු කර හිමිදිරියේ වගාවට ඉසීම මෙහි ක්‍රමවේදයයි. පිටත් නැකැත් ඇති දිනයක එය කිරීම විශේෂයි. මී වද සුවඳට පැමිණෙන මී මැස්‌සන් නිසා ගොයම් මැස්‌සන් ගේ පලා යැමක්‌ සිදු වන බව ගොවීහු දැන සිටිය හ. වර්තමානයේ වැටකොළු පතෝල වගාවේ හානි කරන කෘමියකු වන ඉල් මැස්‌සා වඳ කිරීමට යොදන පෙරමෝන උගුලට වඩා මේ ක්‍රමය වඩාත් පරිසර හිතකාමී වන බව කිව යුතු ය. 

පිදී කිරි වදින වේලාවේ සෑදෙන කර බුස්‌නා ලෙඩක්‌ ගැන කමත් හෑල්ලේ සඳහන් කාරණය පාරම්පරික ගොයමට වෙසෙසින් ම අදාළ ය. ගොයම කිරි නො වැද උඩ බලාගෙන සිටීම මෙහි ලක්‌ෂණයයි. ගොයම් මැස්‌සා ගේ හානියෙන් ද මෙය සිදු වන නමුත් කර බුස්‌නා රෝගය එයට සමාන නො වේ. මේ සඳහා ප්‍රතිකාර වශයෙන් ගොවීහු කිරිකෙම කළ බව පැවසේ. කිරිකෙමට ගන්නා ලද්දේ මූලික ව එළකිරි හෝ පොල් කිරි නමුදු පස්‌ කිරි වත් කිරීම නම් ක්‍රමයක්‌ ද අනුගමනය කළ බව පෙනේ. රුක්‌අත්තන, කදුරු, සිංහල දෙල්, කොස්‌, පොල් යන පස්‌ කිරි මෙයට යොදා ගැනේ. කෙත මැද උණ ගසක්‌ සිටුවා එයට පස්‌ කිරි වත් කරන ලද තැඹිලි ගෙඩියක්‌ ගසා ගොයම් කරලක්‌ ද දමා මේ උණ ගස වටේ තවත් ගොක්‌ කොළ බැඳි උණ ගස්‌ අටක්‌ සිටුවීම මෙහි ක්‍රමයයි. 

මේ අනුව බලන කල්හි පාරම්පරික ගොවිතැන කෙතරම් පරිසර හිතකාමී දැයි වටහා ගත හැකි ය. එහි විද්‍යාත්මක පදනම සකස්‌ ව ඇත්තේ ප්‍රඥාව හා සොබාදහම කෙරෙහි පවතින අසීමිත ළබැඳියාව මත ය. හරිත විප්ලවය ක්‍රියාදාමය නිසා නිකරුණේ නැති නාස්‌ති වී යැමට ඉඩ හරින ලද්දේ මේ අගනා පාරම්පරික දැනුම සහ සංස්‌කෘතියයි. ඇතැම් කෙම් පහන් ක්‍රමවල අත්දුටු සත්‍යයන් එම පාරම්පරික දැනුම දරන්නන් අභාවයට පත් වූ කල්හි සදහට ම වැළලී ගිය බව ද මෙහි සඳහන් කළ යුතු ය. 

No comments:

Post a Comment